Monday, October 10, 2016

~ ආච්චි අම්මා ~


ආච්චි අම්මා අන්තරා වී හත් දවසක් ගෙවී අවසන්ය. ධම්මාලෝක හාමුදුරුවන් විසින් මතක බණ කීමත්, බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට සංඝික දානය පූජා කිරීමද අවසානය....

අපි පුංචි දවස් වල ඉස්කෝලේ නිවාඩු කාලයට ආච්චි අම්මා ලොකු අක්කා ද කැටුව නුවර සිට අපේ ගෙදර එයි. ඒ දවස් වලට අපි හොදින් විනෝද වෙමු. වෙලේ ඇවිදින්නට යමු. ඇලේ බහින්නට යමු. මල් පැලවලට දැමීමට ගොම එකතු කිරීමටද යමු. ආච්චි අම්මා ද අපි සමග එයි.
ආච්චි අම්මා නොකිය වූ පොතක් නැත. පන්සීය පනස් ජාතකය, සසදාවත, සකස්කඩය, ලෝවැඩ සඟරාව, වෙස්සන්තර ජාතකය, උම්මග්ගය මෙකී නොකී පොත් ගණනාවක්ම උන්දැ කියවා ඇත. ඒවා ගැන අපිටත් කියා දෙයි. පොඩි ඉස්කෝලේ උදේ රැස්වීමේදී ආච්චි අම්මා කියා දුන් කවි ගාථා මා ද කියා ඇත. ඒ බව මට මතක් වෙයි. බණ දහම් ගැනද ආච්චි අම්මා මට බොහෝ දේ කියා දී ඇත. ආච්චි අම්මා ගොඩක් දේ අපිට කියා දුන්නේ පුස්තකාලයක් මෙනි. ආච්චි අම්මා පැමිණි දින වලදී නිතර පාහේ අපි සවසට පන්සල් යමු. ආගමික වතාවත් පිළිවෙලින් කිරීමට ඈ අපට ඉගැන්වීය. එත් දැන් ආච්චි අම්මා නැත.
ආච්චි අම්මාගේ ජිවිතයේ අවසාන කාලය ගෙවුනේ අපිත් සමඟ අපේ ගෙදරමය.
අම්මා කියූ පරිදී මා උපන් අලුත ඉස්පිරිතාලයේදී මා වඩාගෙන ඇත්තේ ආච්චි අම්මාය.
ආච්චි අම්මා මැරෙන මොහොතේ ඈ අසල සිටියේ මාත් අම්මාත් ය.
පොතේ පතේ කරුණු, දහම් කරුණු, ගුණ ධර්ම ගැන කියා දුන් ආච්චි අම්මා අවසානයේ
ජීවිතය යනු කුමක්දැයි කියා දීමටද අමතක නොකලාය. ලෙඩ වීම, වහැරිම, දුර්වල වීම හා
මරණය යන කාරණා පිළිබදව ඈ මා හට යමක් උගන්වා අවසානය....
දැන් ආච්චි අම්මාගේ කාමරය හිස්ය. පුරුද්දට මෙන් දොර රෙද්ද ඈත් කර බලන විට
කාමරයේ ආච්චි අම්මා දකින්නට නැත.
බස් රථයේ ජනේලය අයිනේ යන විට, මට ආච්චි අම්මා මතක් වෙයි. එවිට හීනි කඳුළු බිංදුවක් ඇසට නැගෙයි. දැනටමත් ඈගේ මරණ දැන්වීම් දුර්වර්ණ වෙලාය. තවත් කල් යත්ම ලයිට් කණුවල ඇලවූ සියලූම මරණ දැන්වීම් අව්වට කරවී වැස්සට සේදී විනාස වී යනු ඇත. ඒ සමඟම ආච්චි අම්මා පිළිබද මතකය සැමට අමතක වී යනු ඇත.
ආච්චි අම්මේ ඔබට නිවන් සුව අත්වේවා!!!

Thursday, May 12, 2016

සුද්දි


පළමු පෙම වියෝදුක නසලා.....
ඊයෙත්, අදත්, හෙටත්,
නිසල හද සසල කල
සුසුම.

මගෙන් ගිලිහුණ.....
මා මටම දොස් නගා..
සිතින් ඈ සනසවා
විටින් විට හඩන්නෙමි
හුදකලා කතරකදී තනිවෙලා........
යළි දිනෙක හමුවන්න
වචනයක් මුමුණන්න
සුද්දියේ...... එනවාද..........?
අත්තනගලු ඔයේ ඉවුර වෙත.......


-තරුපති අරිරුවන්-

පෙම් මායා


කලකට වරක් පායා දිලෙන පුන් සඳකි.
ඒ සඳ රැසින් දහසක් මල් පුබුදු වෙති.
පෑයූ දිනට දෝරේ ගලන සුසුම් පොදි.
හිමිවන්නේ අපට පමණි හිතාදරී.
හෝරා කිහිපයක සුන්දර මොහොතකට.
පෙරුම් පුරමු අපි දින සති මාස ගැන.
උදා වූ විටදී ඒ සුන්දර මොහොත.
දුක් දොම්නස් මැකිලා යයි සතුට වෙත.
දහසක් වචන පිටවෙනවා රැඟුම් තුලින්.
උතුරයි සෙනෙහෙ ඒ මොහොතේ සතුට මැදින්.
පොපියන ප්‍රේමයක අරුමය රැයක් මැදින්.
කවි ගී කියයි උණුසුම් සුසුමන් අතරින්.
දිනකර උදාවන තුරු ගතවන කාලේ.
කාටත් හොරා අප සැනසෙයි මායා වේ.
කවි ගී ලියා නිම වනු බැරි නිසා වේ.
සැනසෙමු මතකයේ මිහිරෙන් කුමාරියේ.

-තරුපති අරිරුවන්-

Tuesday, January 6, 2015

යසෝදරා නැතිවෙලා

මුලින්ම හා කිව්වා... 
එත් කට්ට කාල කාලා දත් කැඩෙන්න ඔන්න මෙන්න වෙනකොට...
ඊළගට හා කියලත් තව හීනයක් මැව්වා... 

ඒ කියන්නේ ඇත්තටම කියන්න ඕන කම තිබිලා තියෙන්නේ වෙනත් කෙනෙකුට.... 
එකත් කොහොම හරි විද දරාගෙන විසදුම් සොයාගෙන ඉස්සරහට ගියා කියමුකෝ....
මෙන්න විභාග භීතිකාව ඉවර උනා විතරයි පටන් ගත්තා රැස් විහිදන්න.... 

මොනා උනත් ඒවත් ඉවසන් උන්නා කියමුකෝ....
මොකද ඒ සේරටම එහා ගිය මෝරන කුලුදුල් හැගීමක් පොපියනවනේ.... 

ඊළගට වරින් වර වාග් හිංසනයන්ට යටත් වෙවී සෑහෙන කාලයක් ඉදිරියට අවා... 
එක දිගටම බොහොම හොදින් ගත උන කාලයකුත් තිබුනා....
එත් එක දවසක් එක පාරටම කව්දෝ ගෑණියක් කියපු දෙයක් හිස් මුදුනින් පිලි අරගෙන පොලිසි ගියා.... අන්තිමට සහනය ලැබුණේ පොලිසියෙන් නෙවේ....
වෙච්ච දේ ආය ආය හෝද හෝද මඩේ දාපු නිසාවෙන්..... 

ඒ සිදුවීමත් එක්ක අර හැමදාම ඉවසා දාරා සිටි කෙනාටත් තමන්වම එපා වෙන්න පටන් ගත්තා.....
ඒ සිදුවිමන් පස්සේ එක දිගටම වාවගන්න බැරි තරමින් ගිනි පත්තු කළා... 

සමහර ඒවා කොහෙවත් යන අය අව්ලපුවා... 
එත් ඒවාට පිදුරු දැම්මේ මෙයා....
එදා ඉදන් අද වෙනකම් දිගින් දිගටම ගින්න ඇවිලෙනවා... 

කොච්චර නිවන්න උත්සහ කලත් වැඩක් නෑ... 
දැන් චෝදනාවකුත් එල්ල කරනවා ගිනිබත් කලේ අර හැමදේම ඉවසපු කෙනාය කියලා....
ඇත්තටම දැන් ඒ කෙනාගේ ආත්මය බිංදුවටම දමාගෙන තාමත් බලා ඉන්නවා..... 

කවදා හරි තමන්ගේ අර කුළුදුලේ උපන් ආදර ගහේ මල් පුදිනකම්.....
එත් එහෙම වේවිද......?

තරුපති අරිරුවන්

 



Wednesday, October 1, 2014

අද හැන්දෑව


කැම්පස් එකෙන් එලියට ආවේ දෙකයි කාලේ බස් එකට ගොඩ වෙන්නටය. කොහොම උනත් ගොඩවූයේ තුනේ බස් එකටය. අතේ ගානට සල්ලි තිබ්බ. ඒ හන්ද කරදරයක් නැතිව ටිකට් එක ගත්ත. අද නම් එච්චර සෙනග නෑ. අතරින් පතර හිස් ආසන කීපයක්ම වූ අතර මා දොර ළගම ජනේලය අසල ආසනයක වාඩි ගතිමි. බසය වේගයෙන් ගෙවල් පැත්තට යයි. ඩබ්ලිව් පි එන් බී තිස් පහයි විසි හය. මාවනැල්ල ඩිපෝව. බුදු සරණයි!.  රතු අකුරින් ලියා තිබූ දේවල් වාඩිගත් මා නෙත ගැටුණි. ඒ එක්කම වාගේ මා තදින් නින්දට වැටුණි. බසයෙන් බැසීමට ආසන්න වනතුරු මා නින්දේ පසු වීමි. ගේ දකිනා විටම මහා බඩ ගින්නක් දැනෙයි. ඒක නම් සදාකල් දෙයකි. කාමරයට ගොස් සරමක් දමාගෙන එලියට ඇවිත් පුරුදු පරිදී අම්මා සෙවීමි. අම්මා ගෙදර නැත. අද බදාදා ය. හංදියේ සති පොළ අදය. ඈ පොළට ගොසිනි. ඉස්තෝප්පුවේ ප්ලාස්ටික් පුටුවකට බර වූ මට මහා හිස් බවක් දැනෙයි. කල්පනාවේ නිමග්න අතරම විටක් කන්නට සිත් විය. දොරකඩ බුලත් කොවුලෙන් සුදුසු බුලත් තුන හතරක් කඩාගෙන පුවක් ගෙඩියක් සෙවීමට වත්ත පහලට ගියෙමි. කහ පාටට දිලිසෙන හොද රබ්බඩයක් සොයා ගැනීමට මා හට ඒ හැටි වේලාවක් ගත වූයේ නැත. නැවත ගෙට ගොඩ වී ගිරයක් ගෙන රබ්බඩය සුද්ද කරන අතර "අදනම් හොද විටක් කන්න ඕන." යැයි සිත් විය.

රබ්බඩය විටට සකසා කරාබු නැටි කීපයක්. එනසාල් දෙක තුනක් හා කුරුදු පොත්තක් ගෙන නැවතත් මා වත්ත පහළට ගියේ විට සකසමිනි. වත්ත පහළ කුඹුරු යායට නැවී ඇති පොල් ගහට හේත්තු වී මා බුලතේ රසය විදීම ඇරඹු වෙමි. මට කෙලින්ම පුවක් ගසේ ඉදුණ රබ්බඩ වල්ල පෙනෙයි. පුවකයට සිව් යාමයකි. සරුවන්. ගෝලෑ. නිලෝටු. රබ්බඩ. හොද ඉල්ලුමක් ඇත්තේ රබ්බඩ වලටය. අපේ ජිවිතේටද සිව් යාමයක් ඇතැයි මට කල්පනා වේ. ළදරු. ළමා. වැඩිහිටි. මහලු. රබ්බඩ පුවකයට ඉන් ඔබ්බට වර්ධනයක් නැත. මහල්ලාටද එය පොදුය. මහල්ලාගේද යථා වර්ධනයක් නැත. අපි රබ්බඩය කමු. ඉන් රබ්බඩයේ පැවැත්ම අහවර වෙයි. මහල්ලා මැරෙයි. ඉන්පසු ජිවිතයේද සංසාරගත එක් පරිච්චේදයක් අහවරවෙයි.සරුවන්. ගෝ ලෑ. නිලෝටු. ගසේදීම කුණු වී වැටේ. සත්වයාගේ අකල් මරණ ද එසේම යැයි මට සිතේ. හෝරාවකට ආසන්න කාලයක් බුලත් හපයේ රස විදි මා කරාමයෙන් කට සෝදා ගෙට ගොඩ වුණි. අම්මා පැමිණ ඇත. බුදුන් වැදීමෙන් පසු කහට කෝප්පයක රසය විදින අතර හෝරා කීපයක් තුල සිදු වූ දේ අකුරු කල යුතු යැයි මට සිත් විය. කහට රස විදිමින් එය මෙසේ ඇරඹු වෙමි.

 -තරුපති අරිරුවන්-

Monday, September 1, 2014

පූදිනා පුබුදු පෙම්

දෙතොල වෙව්ලද්දී....
ගත සසල වෙද්දී....
පැතුම් පූ දිද්දී...
සිත තැවුල් දෙයි හවස් වෙද්දී....

අහඹු ලෙස පාරේ
මා දිටිමි ඈ වාගේ
ඒ ඈ තමයි මාගේ
ගත සසල විය ක්ෂණික   මාගේ

කාලය ඇතත් මා හට වැට     බැදලා
පෙම් මල් සුවද දෙනවා ගත සනසාලා
නෙත ඈ දෙසට යනවා හසරැලි      මවලා
දාහත යන නිසා මා තව ලත  වෙනවා

ඈ නැවත ආවේ - සරසවිය දෙසට යන්නේ
මා බලා සිටියේ - උණුසුම් පැතුම් මැද්දේ
පැතුම් ඉටු කරමින් - ඈ මදෙස බැලුවේ
සසල සිත සසල ගත - ඈ නිසල කෙරුවේ

හද පෙම් මලේ තව තව පැණි    උතුරනවා
ඈ හෙමි හෙමින් සරසවි බිම වෙත          යනවා
අමුතු ලොවක මා සොදුරුව තනිවෙනවා
ඈ ගේ සිනහවේ පැටලී ලතවෙනවා

තරුපති අරිරුවන්

ජයන්තිය

දින දින වැඩිවෙනවා  - සෙනෙහේ උතුරනවා
කාලය ගත වෙනවා - අපි තව ලංවෙනවා

ගෙවුණු මේ පොඩි     කාලේ
හද සින්න විය ඔබට     මාගේ
නැත කරනු වෙන දෙයක්  නෝනේ
සදා කල් ඉමු මෙලෙස සොදිනේ

හද කිති කැවෙයි සතුටින් මගේ නිරතුරු
ආඩම්බර හැගුම් සමගින්  මනහර
ගෙවූ සිව් වසර රසවත් නොවේද ම
ඉතින් බැදෙමු සොදුරියේ නව වසරක


නිකිණි මසක එක්විසි දින දුන් බහට
සිව් වෙනි වසර ගෙවිලා යයි අද දිනට
දොරේ ගලා යන සෙනෙහස් ගගුල මැද
ආසිරි පැතුම් මල් පූදියි අප නමට

තරුපති අරිරුවන්