Monday, October 10, 2016

~ ආච්චි අම්මා ~


ආච්චි අම්මා අන්තරා වී හත් දවසක් ගෙවී අවසන්ය. ධම්මාලෝක හාමුදුරුවන් විසින් මතක බණ කීමත්, බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට සංඝික දානය පූජා කිරීමද අවසානය....

අපි පුංචි දවස් වල ඉස්කෝලේ නිවාඩු කාලයට ආච්චි අම්මා ලොකු අක්කා ද කැටුව නුවර සිට අපේ ගෙදර එයි. ඒ දවස් වලට අපි හොදින් විනෝද වෙමු. වෙලේ ඇවිදින්නට යමු. ඇලේ බහින්නට යමු. මල් පැලවලට දැමීමට ගොම එකතු කිරීමටද යමු. ආච්චි අම්මා ද අපි සමග එයි.
ආච්චි අම්මා නොකිය වූ පොතක් නැත. පන්සීය පනස් ජාතකය, සසදාවත, සකස්කඩය, ලෝවැඩ සඟරාව, වෙස්සන්තර ජාතකය, උම්මග්ගය මෙකී නොකී පොත් ගණනාවක්ම උන්දැ කියවා ඇත. ඒවා ගැන අපිටත් කියා දෙයි. පොඩි ඉස්කෝලේ උදේ රැස්වීමේදී ආච්චි අම්මා කියා දුන් කවි ගාථා මා ද කියා ඇත. ඒ බව මට මතක් වෙයි. බණ දහම් ගැනද ආච්චි අම්මා මට බොහෝ දේ කියා දී ඇත. ආච්චි අම්මා ගොඩක් දේ අපිට කියා දුන්නේ පුස්තකාලයක් මෙනි. ආච්චි අම්මා පැමිණි දින වලදී නිතර පාහේ අපි සවසට පන්සල් යමු. ආගමික වතාවත් පිළිවෙලින් කිරීමට ඈ අපට ඉගැන්වීය. එත් දැන් ආච්චි අම්මා නැත.
ආච්චි අම්මාගේ ජිවිතයේ අවසාන කාලය ගෙවුනේ අපිත් සමඟ අපේ ගෙදරමය.
අම්මා කියූ පරිදී මා උපන් අලුත ඉස්පිරිතාලයේදී මා වඩාගෙන ඇත්තේ ආච්චි අම්මාය.
ආච්චි අම්මා මැරෙන මොහොතේ ඈ අසල සිටියේ මාත් අම්මාත් ය.
පොතේ පතේ කරුණු, දහම් කරුණු, ගුණ ධර්ම ගැන කියා දුන් ආච්චි අම්මා අවසානයේ
ජීවිතය යනු කුමක්දැයි කියා දීමටද අමතක නොකලාය. ලෙඩ වීම, වහැරිම, දුර්වල වීම හා
මරණය යන කාරණා පිළිබදව ඈ මා හට යමක් උගන්වා අවසානය....
දැන් ආච්චි අම්මාගේ කාමරය හිස්ය. පුරුද්දට මෙන් දොර රෙද්ද ඈත් කර බලන විට
කාමරයේ ආච්චි අම්මා දකින්නට නැත.
බස් රථයේ ජනේලය අයිනේ යන විට, මට ආච්චි අම්මා මතක් වෙයි. එවිට හීනි කඳුළු බිංදුවක් ඇසට නැගෙයි. දැනටමත් ඈගේ මරණ දැන්වීම් දුර්වර්ණ වෙලාය. තවත් කල් යත්ම ලයිට් කණුවල ඇලවූ සියලූම මරණ දැන්වීම් අව්වට කරවී වැස්සට සේදී විනාස වී යනු ඇත. ඒ සමඟම ආච්චි අම්මා පිළිබද මතකය සැමට අමතක වී යනු ඇත.
ආච්චි අම්මේ ඔබට නිවන් සුව අත්වේවා!!!

1 comment: